Monday, July 15, 2019

කබලෙන් ලිපට වැටීම ලංකාදීප පන්නරය අතිරේකය ( 2018 අගෝ්ස්තතු 05 වැනි ඉරිදා )






                            
 ලංකාව අප ඉපදුණු දිනයේ පටන් සංවර්ධනය  වන රටකි. පෙනෙන තෙක් මානෙක අපි සංවර්ධිත රටක් කියා ඉතා සතුටින් කටපුරා කිවහැකි දිනයක් එලැබෙන්නේ කවදාදැයි දළ ගණනය කිරීමක් කරන්නටවත් අපට නොහැකිය. එය සිහිනෙනෙඳු වනවා නම් අනිත් සිහින වලට පයින් ගසා ඒ හීනෙම ජීවත් වීමට බොහෝ කැමැත්තක් අපට තිබේ. කලින් කලට ගෙන එන තේමා පාඨයන් හා දේශපාලන වේදිකාවල කියවන සංවාද අසා එම සංවාද වලට අත්පොලසන් හා විසිල්පාර ගසන, හුරේ දමන , බත් පැකට්ටුවට අරක්කු කාලට හිරවුණු පාක්ෂිකයෝ එකළ මෙන්ම මෙකළ ද බොහෝ වෙති.

                
           
         වෙනසට වෙනසක් සොයා ගිය අපට ඇත්තේ වෙනස ගැන හිතලම ඔළුවට පාත් වූ හිසරදයකි. මරුටියක් ගැන සිහින පෙන්නු ඔබට අපට අද සුපුරුදු පරිදි යන්න වුණේ දුම්රියේ තුන්වන පන්තියේ පාපුවරුවේය. පාලකයන් අපට හැමදාම සිහින පෙන්නුවේය. අපි ඒ හීන අස්සේ ජීවන අරගලයේ යථාර්ථය හෙව්වෙමු.  මාසයකට සැරයක් සංශෝධනය වන ඉන්ධන මිලේ මිල සුත්‍රයේ ද ඇත්තේ දේශපාලුවන්ගේ මඩිස්ස තර කරගන්නා වූ උප්පරවැට්ටි වේ.

                             ඡන්දයක් ලංවෙද්දී ඉන්ධන මිල පහළ හෙලීමට මෙන්ම ඡන්දයක් අවසන් වී  ටික කාලයක් ගිය පසු නැවත ලෝක වෙළඳපලේ තෙල් මිල අහසට නැඟීම නිසා ලංකාවේ තෙල් මිල ද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවන පුවත් අනිවාර්යයෙන්ම මේ කණින් අසා අනිත් කණින් පිට කිරීමට නොහැකි  පුවත් වනවා නොඅනුමානය.  මුල් කාලයේ ලාභ ලබා සිටි ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවද එක් එක් පාලන සමයන්හිදී පවුල්වාදය ඒ තුලට රිංගවීම සහ අකාර්යක්ෂමතාව නිසා පාඩු ලබන ආයතනයක් බවට අද වෙනකොට පත්ව ඇත. ඉන්ධන මිල වැඩි වූ වහාම ඊළගට එන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ ගැටලුවයි. එකෙන් මේකෙන් පර්ස් එකට තට්ටු වෙන්නේ ද බස් එකේ  දෛනිකව රැකියාවට යන පිරිසටය. පෞද්ගලික මගී ප්‍රවාහන  වෘත්තීය සංගම් බෝඩ් ලෑලි එල්ලා ගන්නේ අපට ද  බස් ගාස්තු මිල සංශෝධනයක් අවශ්‍ය බව කියමින් ය.

                          නූපන් දරුවාගේ පටන් මහල්ලා දක්වා දැරිය යුතු විශාල ණය බරකින් මිරිකී වෙලී පෙළී සිටින්නට සුවහසක් වූ ලාංකික ජනතාවට සිඳු ව ඇත. ඒ වගේම කන බත් පතේ සිට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයකට බදු බර පැටවී ඇත. වරෙක ආසියාවේ ළමා මන්දපෝෂණයෙන් ලංකාව දෙවැනි ස්ථානය බවට පත්වන්නේ ද පෝෂණය ලබා දෙන්නට තරම්වත් වත්කමක් ඇතැම් දුෂ්කර ප්‍රදේශවල දෙමාපියන්ට නැති නිසාවෙනි. වේලක් ඇර වේලක් කන පීඩිත ජනතාවක් ද සිටින බව පාලකයන්ට පෙනෙන්නට දකින්නට ලැබෙන්නේ ඡන්දයක් අත ළඟ එනවිටය. ඒ කාලයට අඩු ආදායම්ලාභීන්ට පන්දාහේ වියලි ආධාර මල්ලක් , ගර්භනී මාතාවන්ට පෝෂණ මල්ලක් වගේම ගමේ සමිති සමාගම් වලට සුළු ආධාරයක් ද දී අත පිහිදා ගැනීමට ඔවුහු අනිවාර්යයෙන් වග බලා ගනිති.

                           දිනපතා සිඳුවන අපරාධ සම්බන්ධයෙන්  නීතියේ රැහැනට හාල්මැස්සන් පමණක් හසුවීම  පවත්නා නීති පද්ධතියේ ඇති ගැටලුවකි. අකාර්යක්ෂම නීති ක්‍රමවේදයන් නිසා තෝරු මෝරු පැනයන්නේ ලොකු ලොක්කගේද උපකාර සහිතවය. ලංකාවේම ආර්ථිකයට විශාල බලපෑමක් , පාඩුවක් කල මහ බැංකු මුල්‍ය වංචාවේ මහමොළකරුවන් වගේම ඒ වංචාවට හවුල් වූ සියල්ල අද නිදැල්ලේ සිටින්නේ ඔවුන්ට හරිආකාරව නිතිය ක්‍රියාත්මක නොවන නිසාය.  මුල්‍ය වංචාව පිළිබඳ විද්වත් කතිකාවල් සියල්ලම පාහේ යටපත් කිරීමට ඊට සම්බන්ධ දේශපාලකයින් ඇතුළු බවලැත්තු කටයුතු කර ඇත්තේ ඊට වඩා ජාතික ප්‍රශ්න රට පුරා ඇතිකරමින් මේ ප්‍රශ්නය අමතක කරමින්ය.

                      කුසගින්නට ගමේ හොරෙන්  පොල් ගෙඩියක්, වෙරළු ගෙඩියක් , අඹ ගෙඩියක් සොරකම් කල පුද්ගලයන්ගේ   අනන්‍යතාවය ද හෙළි කරන අන්දමින් ඇතැම් මාධ්‍ය මුහුණු ආවරණයකින් තොරව මාධ්‍යවල තොරතුරු වාර්තා කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම  ද කඩවන අන්දමිනි. සොරකම සාධාරණීකරණය කිරීම ද නොමනා කටයුත්තක් බව සත්‍යයය. නමුත් සොරකමකට දඩුවම් ලබාදීමේදී වගේම නීතිය ක්‍රියාත්මක වීමේදී පහළ තැන්  වගේම ඉහළ ලොකු තැන්වල සිඳුවන වැරදිවලටත් නිසි ලෙස නිතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම බලාත්මක කිරීම කල යුතුය.

                        මත්ද්‍රවය ජාවාරම් වලට ප්‍රබල  වැරදිකරුවන් වී ඇති අපරාධකරුවන්ට මරණ දණ්ඩනය දිය යුතු බවට කතිකාවතක් නිර්මාණය  වෙලා තිබුණත් අපට ශිෂ්ටත්වය ගැන අවබෝධක්  තිබෙනවා  නම් පුද්ගලයෙකු එල්ලා මරණකම් බලන් ඉන්නේ නැත.  අශිටත්වයේ හම පොරවන් ඉන්න උපාසක බළල්ලු ශිෂ්ටත්වයේ ගුණ ගායනා කරමින් එක් කොටසකට පමණක් මරණ දණ්ඩනය ලබා දීම මනුෂ්‍යයත්වයට ද කරන නිගා කිරීමක් වැනිය. සංවර්ධිත වීමට පෙර ආධ්‍යාත්මය පවිත්‍ර කර ගැනීම යෙහෙකි.

                                                                                                   ප්‍රබුද්ධිකා නාරංගොඩ
                                                           කැලණිය විශ්වවිද්‍යාලය 
                         ජන සන්නිවේදන අධ්‍යන අංශය
                                                                                    
                                                                               




No comments:

Post a Comment