Friday, March 29, 2019

හේවාගත වෙල ලෙයින් නැහැවූ මුල්ලේරියාවේ නොනිමි අරගලය.....





ශ්‍රී සිහළ ධරණී තලය මත සිහළ දෙරණේ නිදහස වෙනුවෙන් දසතින් අසිපත් ලෙළ දෙන්නට විය. දේශානුරාගයෙන් ළයෙහි හොවා ගත් කැකෑරෙන ජාතිකාභිමානයෙන් ස්නේහයෙන් ඇට,ලේ,මස් වගුරුවා තම උර මතින් නැගූ එඩිතර තර කොට පරාදේසක්කාරයින් සුණු විසුණු කරා වූ හේවාගත වෙලෙහි සිදුවූ මුල්ලේරියාව සටන ශ්‍රී ලාංකේය ඉතිහාස වංශ කතාවේ නොමැකෙන සටහන් තැබූ ලක් දෙරණ දිග් විජය කළ සටන් වික්‍රමවලින් යුතු ස්වර්ණමය රක්ත යුධ විජයග්‍රහණයකි.

''මුල්ලේරියා සටනේ දී ටිකිරි කුමරු පිළිබඳ ජනප්‍රවාදයේ මෙසේ සඳහන් වෙයි''

''කටේ සුවඳ යන්නට පවා                බැරිවුණා
යුදට උපන් කුමරි≈ඳුයැයි නමක්   ඇතිවුණා
මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාංජසිංහ නමින්          රජවුණා''

මෙම ඓතිහාසිය සංග්‍රාමයේ දී ටිකිරි කුමරුගේ හමුදා අතර පෘතුග්‍රිසි හමුදා සමූල ඝාතනය වු අතර එම ගැටුමෙන් මුල්ලේරියා වෙල්යායෙහි වතුර ලේ පැහැයට හැරුණු බව ජනප්‍රවාදයේ කියැවෙයි.

16 වැනි සියවස පරදේසක්කාරී පෘතුගීසී ජාතීන්ගෙන් දැය බේරා ගැනීමට ටිකිරි කුමරු හෙවත් සීතාවක රාජසිංහ රජු උපදින ලද්දා වූ සියවසයි. ක්‍රි. ව. 1551 සිට 1597 තෙක් වූ ධර්මපාල රජුගේ කෝට්ටේ රාජ්‍ය පාලන සමය හෙළයන්ට හිතකර නොවුයේ ඔහු ඒ වන විටත් කෝට්ටේ රාජ්‍ය පාලන සමය හෙළයන්ට හිතකර නොවුයේ ඔහු ඒ වන විටත් පෘතුග්‍රිසින්ගේ රූකඩයක් බවට පත්ව සිටි නිසාවෙනි.

එහෙත් නොසිතු මොහොතක 1557 දී ජුනි මාසයේ දී සිංහල ලේ කුපිත වූයේ එකළ මහ සඟ රුවණක් වූ ''බුද්ධ වංශ'' තෙරුණ් වහන්සේගේ හඬින් පිබිද රට දැය සුරැකීමට කටයුතු කළ භික්ෂුන් වහන්සේලා 30 නමක් පෘතුග්‍රීසින් විසින් ඝාතනය කරනු ලැබූ නිසාවෙනි.  කෙසේ වුවද බුද්ධ වංශ හිමියන් විසින් සිය දේශන මඟින් සිංහලයා තුළ දේශානුරාගී හැඟීම් ඇති කිරීම හේතුවෙන් දිවි පුදා මව්බිම රකින්නට කැපවූ සිංහල දේශප්‍රේමීන් පිරිසක් බිහි කිරීමට මායාදුන්නේ රජුට, ටිකිරි කුමරුගේ පියාට අවස්ථාව ලැබුණි. කෝට්ටේ ධර්මපාල රජු පෘතුග්‍රීසි හමුදා නායකයින් සමඟ සිතාවකට එරෙහිව යුධ පිඹුරුපත් සකස් කරන්නට විය.

චිරන්තන ඓතිහාසික කරුණු විමසා බැලීමේ දී චෝල, පාණ්ඩ්‍ය,සොලි ආක්‍රමණ වලින් රට දැය බේරා ගත් රජවරුන්ට චිරාගත බුද්ධ ශාසනයෙන් උදාරතම මොහෙවරක් කළ ථෙරපුත්ත, වෙලයික්කාර, බුද්ධඝෝෂ වැනි තෙරුණ් වහන්සේලා ප්‍රකට විය. එමෙන්ම මායාදුන්නේ රජුට එවකට බුද්ධ වංශ තෙරුණ් ධර්ම අනුශාසනා කරනු ලැබීය .

දක්ෂ අශ්වරෝහකයෙකු වූ අංගම් ශාස්ත්‍රයේ අංගම් ශූරයෙක් ලෙස ''යුදට උපන් කුමරා'' යනුවෙන් විරුදාවලි ලැබූ ටිකිරි කුමරු හෙවත් සීතාවක රාජසිංහ රජු 12 වැනි වියේ සිටම යුධ බිමේ දස්කම් දැක්වුයේය.

ජනප්‍රවාදයේ දැක්වෙන ආකාරයට අංගම් සටන් කලාවේ ආරම්භය අදින් වසර තිස්තුන් දහසකට එවිට අතීතයකට දිව යයි. මුල්වරට සුර අසුර යුද්ධයේ දී ඉන්දියාවෙන් එල්ල වූ තර්ජන වලින් ආරක්ෂා වීමට නාග සහ යක්ෂ යන හෙළ ජන කණ්ඩායම් මෙය යොදා ගැණිනි. ඉන් අනතුරුව තාරක නම් වු සිංහල රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්‍රමණයට එරෙහිව ද අංගම් සටන් කලාව යොදා ගෙන ඇත. අංගම් සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ රාවණා රජුගේ රාජ්‍ය සමයේ දීය. එතුමා නිල ශාස්ත්‍රය පිළිබඳ විශ්ෂඥයෙකු වූ අතර අංගම් කලාවට නොයෙක් ආකාරයේ නව උපාය මාර්ගයන් හඳුන්වා දුන් අතර රාම - රාවණා යුද්ධයේ දි අංගම් සටන් කලාව යොදා ගත් බව ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වේ.

මුල්ලේරියා සටනේ දී අංගම් සටනේ ප්‍රවිණයෙකු වූ ඒකනායක මුදලි මෙකල සිතාවක රාජකීය හමුදාවේ ප්‍රධානියා විය. ඉහත ආකරයට හේවාගත වෙළට එක් වූ පෘතුග්‍රිසි හමුදාවෙන් විනාශ කරන්නට සැලසුම් සකස් කලේ ඒකනායක සෙන්පතිය. මේ අතර රජුගේ උපදෙස් පරිදි ටිකිරි කුමරු දහදාහක සේනාවක් සමඟ හේවාගම් කෝරළයේ කඳවුරුලාගෙන සිටි අතර ටිකිරි කුමරුගේ ඉල්ලීම පරිදි කොරතොට ආරච්චිවරු ප්‍රමුඛ පලිහේන ආරච්චි, රණවක ආරච්චි,කළුආරච්චි, මල්ලවආරච්චි සටන් ශිල්පීන් සමුහයක් සමඟ මුල්ලේරියාවට පැමිණ සිටියේය.

1562 අගෝස්තු 23 වැනි දිනට පහන් වෙන්නට හෝරා 3 ක් තිබිය දී අංගම්මඩු,  ඉලංගම්මඩු සටනේ පුහුණු වූ පනික්කි සටන්කරුවන් මෙන්ම ඇත්, ඇස්, පාබල සේනාවෙන් සන්නද්ධ වූ ටිකිරි කුමරු ප්‍රමුඛ කොරතොට කුරුප්පුආරච්චි මුල්කොටගෙන, කඳවුරු බැඳගෙන සිටි පෘතුග්‍රිසින් වෙත නිර්දය ලෙසට කඩා පැන මුල්ලේරියා හේවාගත වෙළේ විවෘත බිම් නිරයේ දී යුරෝපීය හමුදාවක් සමඟ මුහුණට මුහුණ සිදු වූ අතිවිශාල සංග්‍රාමයක විජයග්‍රහණය සනිටුහන් කිරීමකි.

මුල්ලේරියා සටන පිලිබඳ තොරතුරු රාජාවලියේ දී ඉන් අනතුරුව පෝල් පිරිස් මහතා ලියූ පෘතුග්‍රිසි යුගය නම් ග්‍රන්ථයේ ද පාතුග්‍රිසි ලේඛකයෙක් වූ රුබෙයිරෝගේ සටහන් වල ද මුල්ලේරියා සටන සිදු වූ අන්දම සහ භාවිතා කළ යුධ උපකරණවල සාක්ෂි සපයා ඇත.

මෙසේ අභිනව කල මුල්ලේරියා සටනින් අනතුරුව පරංගි හමුදාව 1600 ක් දෙනා ඝාතනය වූ අතර දොන් ජුවන් ධර්මපාලගේ ස්වදේශීය සෙන්පති බැල්තරාර් ගෙඩිස් මරණයට පත්වුණි. පර්නැන් දෙස් පිරිල්හාඩි, ඇන්ටෝනියෝ ඩයස් ලොම්බා, මැනුවෙල් ටොරස් ඇතුළු පරංගීි හමුදාවේ නායකයින් සමුල ඝාතනය කිරිමට හැකි විය. මෙම ඓතිහාසික සග්‍රාමයේ දී ටිකිරි කුමරුගේ සේනාව අතින් පෘතුග්‍රිසි හමුදා සමූල ඝාතනය වූ අතර එම ගැටුමෙන් මුල්ලේරියා වෙල් යායෙහි වතුර ලෙයට හැරුණු බව ජනප්‍රවාදයේ ප්‍රතියමාන වි ඇත.''හැනිබල්'' නම්න් පරදේසක්කාරයින් අතර රාසිං රජු ප්‍රකට වුයේ මෙම පරාජය නිසා බව ලංකා ඉතිහාසය ග්‍රන්ථයේ දක්වා ඇත.

සීතාවක රාජසිංහ රජු හෙවත් ටිකිරි කුමරු පෘතුග්‍රිසින්ට එරෙහිව යුධ වැදෙන්නට පෙර තමන් දැඩි ලෙස ඇදහු පත්තිනි මෑණියන්ට භාරයක් විය. තමා යුද්ධය ජයග්‍රහණය කළහොත් තම රන් අසිපත පුදා කඩුවෙල බලකොටුවේ පත්තිනි දේවාලයක් තනවන බවයි. එම භාරය ඔප්පු කරනු වස් එම පත්තිනි දේවාලය අදටත් කඩුවෙල රන්කඩු පත්තිනි දෙවොල ලෙස හඳුන්වනු ලැබේ.

''රාසිං නිරිඳු වැඩලා රණ            කෙලිතොටට
ඉලංගමට හේවාකම් දුන්              කලට
පස්ස පොරොත්තුවෙන් පැනලා      කොටන්නට
කොරතොට ආරච්චි එයි              පෙරමුණට''

මුල්ලේරියා සටනේ කොරතොට අලංගක්කාර පරපුර පිළිබඳ ජනප්‍රවාදයේ එන ජන කවියක් මෙසේ දැක්වේ.

මරමස්ථාන වලට පහර දීම්, කාලහෝරා වලට පහර දිම වැනි අංගක්කාර ශාස්ත්‍රයේ ප්‍රබල ශාස්ත්‍ර කොරතොට අංගක්කාර පරපුර වඩාත් හොඳින් ප්‍රගුණ කළ අතර මෙම සටන සඳහා ද එම සටන් ක්‍රම ප්‍රතිභාපුර්ණ ලෙස යොදා ගැනිණි. ටිකිරි කුමරු ඇතුළු ධීර වීර බල හෙළ විරුවාණන් කෲර පෘතුග්‍රිසින්ට මරමුවට පත් කරමින් ලක් දෙරණ මත ධීනත්වයෙන් මිදී ස්වාධීනත්වය නිමේෂයකට හෝ ළඟා කර දෙමින් නිදහස් අරුණැල්ල සඳහා ගෙන ගිය කාහල නදින් 1582 අගෝස්තු මස 23 වැනි දින මුල්ලේරියාවේ හේවාගත වෙල රක්ත වර්ණ ලේ පැහැය ගැණිනි.

අපි ලේ දැක ප්‍රීති වන ජාතියක් නොවන්නෙමු. නමුත් පරදේසක්කාරයින්ගේ ධීනත්වයෙන් මරුමුවට පත් වනවාට වඩා අරගල කොට දැය බේරා ගැනීමට දිවිත් පුදා නිතැතිත් කටයුතු කරන්නෙමි, යන තිර අදිටනින් යුතුව ශ්‍රී හෙළ භූමියේ ජාතක වූ ජාතික විරයන් නිදහස් අරගලය මතු පෙරටම රැගෙන ගියෝය.  දන්තුරේ සටන, බලන සටන, රන්දෙනිවල සටන, ගන්නෝරුව සටන, ඌව වෙල්ලස්ස සටන, මාතලේ සටන සහ 1948 නිදහස ලැබිම තෙක් තිබු අරගල තම දිවි පුදා සිහළ නිජ භූමිය රැකගත් විරුවරුන්ගේ හුස්ම අද ද, වාතලයට මුසුව ඇත.




ජයංගනී ප්‍රබුද්ධිකා නාරං‌‌‌‌ගොඩ
කැලණිය විශ්ව විද්‍යාලය
ජන සන්නිවේදන අධ්‍යයන අංශය






No comments:

Post a Comment