Wednesday, March 20, 2019

කාන්තා දින සැමරුම අභියස




                                 
  

 ''ලොවට ජීවය ලබා දෙන්නී ඇයයි, දුක් ගිනි දරා සැමට සතුට ගෙන දෙන්නී ''පවුල සමාජය ආර්ථිකය රට ලෝකය යන පුළුල් පරාසයන් ජය ගැනීමේ කර්තව්‍යයේදී කාන්තාවන්ගේ දායකත්වය වෙර වීර්යය කාන්තා දිනය සමරනු වස් එක් දිනකට සීමා කිරීම යුක්ති යුක්ත නැත. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම පිළිබදව අතීත සැමරුම 1908 වර්ෂය දක්වා දිව යන්නකි. 1908 වර්ෂයේදී පෙබරවාරි 28  වැනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී පළමු වරට කාන්තා දින සැමරුමක් පැවැත්වූ බව වාර්තා වේ. අන්තර්ජාතික ඇදුම් මසන්නියන් විසින් සිදු කරන ලද වැඩ වර්ජනයක් මේ සදහා මූලික වී ඇති අතර ඊට නායකත්වය ලබා දී ඇත්තේ ඇමරිකානු සමාජවාදී පක්ෂය විසිනි. එම අරගලය 1908 ආරම්භ නොවූයේ නම් තවමත් කාන්තා දිනය කාන්තා අයිතිවාසිකම් පිළිබද සමාජ කතිකාවතක් ආරම්භ කිරීම සිහිනයක් වනු නියැත ය.


                   දියණියක, පතිනියක, කාන්තාවක, යෙහෙළියක, ගුරුවරියක මෙන්ම රටේ අස්සක් මුල්ලක් නෑර විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල නියැලී සිටින බහුතර පිරිසකගෙන් පරිපාලන ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් කාන්තාවන්ගෙන් සමන්විත වූවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යවස්ථා සම්පාදනයේ මුලසුන වන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සුළුතරයක් වේ. එය අතෙහි ඇගිලි ගණනට ගණනය කළ හැකි නියෝජනයකි. කාන්තා නියෝජනය දරණ ඇමතිවරියන් , මන්ත්‍රීවරියන් කාන්තා අයිතිවාසිකම් පිළිබදව පාර්ලිමේන්තු සැසි වාරයන් වලදී විවාදයන්ට එළඹීම ඒ වෙනුවෙන් වාද විවාද කිරීම සිදුකර ඇත්තේ අවම වශයෙනි. මේ හේතුවෙන් කාන්තා අයිතීන් උදෙසා නැගී සිටීමේ ඉඩ ඇහිරී ඇත.

             ජනාධිපතිතුමා විසින් මෙවර කාන්තා දින සැමරුමේදී කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගත නොවිය යුතු බව දක්වයි. ලොව පුරා රටවල ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 22ක් පමණ සේවය කරන අතර එයින් 17 50 000 ක් පමණ ගෘහ සේවිකාවන් ලෙස අරාබිය ප්‍රමුඛ කුවේට් ඕමාන් මැදපෙරදිග රටවල සේවය කරයි. රටේ ප්‍රධාන විදේශ විනිමය  රටට සපයනු ලබන්නේ ඒ තුළින්ය. ආර්ථිකය කඩා වැටීමේදී රුපියල අව ප්‍රමාණය දක්වා පහළ බැසීම වළක්වනු ලබන්නේ ගෘහ සේවිකාවන් විසින් මෙරටට ගෙනෙන විදේශ විනිම සංචිත හරහාය. කාන්තාවන්ට මැද පෙරදිග රටවල ගෘහ සේවය උදෙසා යාම එකම විකල්පය නොව කාන්තාවන්ගේ ගෘහ ආර්ථිකය සවිමත් කිරීම සදහා ක්‍රමවත් ක්‍රමෝපායික මාර්ගයන් සලසා දීම, එමෙන්ම ස්වයංපෝෂිත ආර්ථිකය, ස්වයං රැකියා උත්පාදනය මෙන්ම වෘත්තී්ය නිපුණත්වයෙන් යුත් කාන්තාවන් දිරි ගැන්වීම සදහා ග්‍රාමීය , ප්‍රාදේශීය, පළාත් මට්ටමින් වැඩසටහන් ඒකාබද්ධ කරමින් බලාත්මක කළ යුතුය.
    වතුකරයේ වතුකම්කරු කාන්තාවන්ගේ ද ඉරණම දුක්ඛදායකය . අතීතයේ සිට ලංකාව ලොව හදුන්නේ ගුණාත්මකම තේ නාමය හිමි එකම රට හෙවත් සිලෝන් යන නමිනි. මෙම නාමය තවදුරටත්  පවත්වා ගෙන යාමට ව්‍යාපාරිකයන් දත කනු ලබයි.  දෛනික සොච්චම් වැටුපට දිනපතා හාම්පුතුන් ළග සේවය කරන වතුකම්කරු කාන්තාවන් මෙන්ම කම්කරු ජනතාව ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමේ අරගලයක නිරතව සිටී. ඔවුන් දක්වන පරිදි දෛනික වැටුප 1000 දක්වා වැඩි කිරීම වෙනුවෙන් සටන් කිරීම ඔවුන්ගේ අභිලාෂය වේ. උදෑසන වතුකරය වෙත පිටත්වන කාන්තාවන්ගේ  පවුල්වල ආර්ථික සාමාජීය අර්බුදයන් රාශියක් පැන නගිනු ලබයි. අධ්‍යාපනය කඩා කප්පල් වීම, සමවයස් කණ්ඩායම් සමග නිකරුණේ කාලය ගත කිරීමෙන් මත්ද්‍රව්‍ය  භාවිතය වැනි අහිතකර පෙළඹවීම් වලට ලක්වීම වැනි අර්බුදයන් වේ. වතුකරයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඇතැම් දේශපාලන පක්ෂ මේ සදහා විසදුම් යෝජනා ගෙන එනු ලබන්නේ ඡන්ද කාලය වඩා සමීප වු විටය. දේශපාලන රැස්වීම් දේශපාලන පොරොන්දු සුපුරුදු පරිදි දේශපාලන වේදිකාවල අඩුවක් නොමැතිව ක්‍රියාත්මක වන අතර වෙනදා මෙන්ම ඒවා දෙකනෙහි පුරවගෙන අත්පොළසන් දී ඊළග දිනයෙහි වතුකරයට යාමට එළඹෙන්නේ දෛනික ජීවන අරගලය යන්තම් හෝ ගැට ගහ ගැනීමේ අදිටනෙනි. 

            දිනකට සොච්චම් පඩියකට ජීවිතය ගැට ගසන්නට දරන කාන්තාවන්ගේ ඉරණම මෙසේ ලියැවෙද්දී බියගම කොග්ගල කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපවල මහන මැෂිමත් සමග හරිහරියට ඔට්ටු වෙවී පැයට ටාර්ගට් එක කවර් කරන්නට වගේම මාසේ පඩිය තව සොච්චමකින් හෝ වැඩි කරගැනීමට තම නිදහස කැපකර ධගඔ පැය වැඩි කරගමින් මැෂින් පාගන හාරිස්පත්තුවේ කමලාවතී ලා මෙන්ම බියගම රංජනීලාටත් අත්ව ඇත්තේ එම ඉරණමය. ගාමන්ට් කෑල්ල, බඩුව ලෙස ඇයව සමාජය හංවඩු ගැසූව ද ඇයගේ ශ්‍රමයෙන් නිමවන ඇගලුම්වල වටිනාකම අප රටට ලැබෙන්නේ ඩොලරයේ අගයෙනි. රජයේ දේපළ දූෂණ වංචා අක්‍රමිකතා වලව අනුකූලව ආර්ථිකයේ රුපියලේ අගය අව ප්‍රමාණයකට ලක්වීම පාලනය කරනු ලබන්නේ මෙරටට ලැබෙන විදේශ විනිම සංචිත හා කාන්තා ඇගලුම් ශිල්පිනියන්ගේ දිරි බලයෙනි. 

          කාන්තා දිනය අභියස සිදු වූ සුවිශේෂීම සිදුවීමක් ලෙස කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත වූ ගුවන් යානයක් මගීන් සමග ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් සිංගප්පුරුව වෙත පියාසර කරවීමයි. මෙහි ප්‍රධාන නියමුවා මෙන්ම සහායක නියමුවා ද කාන්තාවක් වූ අතර අනෙක් කාර්ය මණ්ඩලය ද කාන්තාවන් විය. ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම ගුවන් ගමන සදහා    ඒ-320 එයාබස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි. ගුවන ජය ගන්නා දිරිය කාන්තාවන් සිටින රටක කාර්යාලයේදී ,පොදු ප්‍රවාහනයේ දී, මහමගදී විවිධ අඩත්තේට්ටම් වලට ලක්වන හඬ නොනඟන කාන්තාවන් බහුතරයක් සිටී. තම අයිතීන් උදෙසා නැගී සිටීමට කාන්තාවක් වීමම වෙර වීර්යයක් ගෙන නැගී සිටින සමාජයේ නිසි තැන තුළින් සම අයිතිය රජයන දිනයක් සියැසින් දක්නට බලාපොරොත්තු පොදු බැදන් සිටින්නෙම්......
                                                                             


ජයංගනී ප්‍රබුද්ධිකා නාරං‌‌‌‌ගොඩ
කැලණිය විශ්ව විද්‍යාලය 
ජන සන්නිවේදන අධ්‍යයන අංශය